Friday, October 31, 2008

ආගන්තුකයා

මාජය සංකීර්ණවත්ම මිනිසුන්ගේ කාර්ය බහුලත්වයද ඉහල යයි. කාලය සීමාසහිත බව නිසා පීඩාවට පත්වන ඔවුන්ගේ සිය මානුෂීය ගුණාංග පහලට වැටෙන අත‍ර එය නූතන සමාජ පිරිහීමට සෘජුව බලපා ඇති බවක් දැකිය හැක. මෙවන් සමාජයක මනුෂ්‍යත්වය පිළිබඳ නැවත මතක් ක‍ර දෙන අපූරු සිනමා සිත්තමක් බලන්න ලැබුනා. තමන්ගේ මානුෂීය ගුණාංග ගැන නැවත ව‍රක් හිතල බලන්නත් එක්ක ඒ ගැන පොඩි සටහනක් තිබ්බොත් හොඳයි කියල හිතුනා. කථාව කෙටියෙන් කියනව නම් මෙහෙමයි,

වෝල්ටර් වැලේ කියන්නේ අවුරුදු 62 ක් පමණ වයස මැන්හැටන් පාසලක ආර්ථික විද්‍යාව පිලිබඳ මහාචාර්යව‍රයෙක් ඒ වගේම ග්‍රන්ථ ක‍තෘව‍රයෙක්. දිනක් ඔහු ඔහුගේ නවාතැනට එන විට එහි තරුණ යුවලක් නැවතිලා ඉන්නවා. බලනකොට වෝල්ටර්ගෙ නවාතැන මේ අයටත් විකුණලා ගෙවල් භාරකාර කපටි මනුස්සයා. කොහොම හ‍රි දෙගොල්ලොම ආරවුල සමථයකට පත් ක‍රගන්නවා. වෝල්ටර් කරුණාවන්තකම නිසා යන එන මං නැතිව හිටපු මේ තරුණ ආද‍රවන්තයන්ටත් තාවකාලිකව නිවසේ නවතින්න අවස‍ර ලබා දෙනවා. ඒ යුවලගෙන් පිරිමියා තමයි ට‍රක් කියන්නේ ඔව්හුගේ උපන් බිම සිරියාවව මොහු විනොදාංශය මෙන්ම රැකියාව වශයෙනුත් ක‍රන්නේ "ජිම්බේ" කියන අප්‍රිකානු බෙරය වාදනය කිරීම. ඔහුගේ පෙම්වතිය සයිනඔ සෙනගාලේ කාන්තාවක් ඇය ක‍රන්නේ ආභ‍රණ හදලා විකුණන එක. මේ දෙන්නට තව ගැටළුවක් තියෙනවා ඒ තම්යි දෙන්නම් අනවස‍ර සංක්‍රමනිකයෝ.


මෙහෙම ඉන්නකොට ට‍රක් විසින් වොල්ටර්ට බෙර වයන්න පුහුණු කරනවා. දවසක් මේ දෙන්නා නග‍රයේ උද්‍යානයට ගිහිං බෙර වාදන පුහුණු වීම වල යෙදිලා උමං දුම්රියෙන් නවාතැනට එන්න හදන කොට ට‍රක්ව පොලිසියෙන් අත්අඩංගුවට ගන්නවා අනවස‍ර සංක්‍රමනිකයෙක් නිසා. ඉන්පසුව ට‍රක්ව නිදහස් ක‍රගැනිමේ මෙහෙයුම ඉතා නිවී සැනසිල්ලේම වොල්ටර් විසින් දියත් ක‍රන්නේ ඔහුගේ පෙම්වතියටද කිසිදෙයක් ක‍ර ගැනීමට නොහැකි නිසාවෙන්. මේ අත‍ර ට‍රක්ගේ මව මොවුනා ඔහුව සොයා වොල්ටර්ගේ නිවසට පැමිනෙනවා. ඇගේද, ට‍රක් ගේ පෙම්වතියගේද එකම ගැලවුම්කරු වන්නේ වොල්ටර්. මොවුන් දෙදෙනාගේද දුක සැප බලමින් ට‍රක්ව නිදහස් ක‍ර ගැනීමට වෝල්ටර් උත්සහා කලත් අවසානයේදී ට‍රක් එරටින් පිටුවහල් කරනවා ඔවුන්ටත් නොදන්වාම.
මෙහෙම තමයි කථාව ගලාගෙන යන්නේ. මේ චිත්‍රපටියෙ පැහැදිලිව දක්නට පුලුවන් විශේෂතා කීපයක්ම තියෙනවා. චිත්‍රපටිය පුරා කිසිම කලබලකාරී බවින් තොරව නිදහසේ ගලාගෙන යෑමක් තියෙනවා. එලෙසෙම මෙහි ඇති ච‍රිතත් කිසිම කලබල බවින් තොර බොහොම නිවුන ච‍රිත. වැදගත්ම දේ තමයි වෝල්ටර් ගේ ච‍රිතය තුලින් මතුවෙන මානුෂීය ගුණාංග. එය චිත්‍රපටිය පුරාම විටින් විට ඉස්මතුවන අවස්ථා ගනනාවකින්ම දක්වා තියෙනවා. නූතන සමාජයෙන් ගිලිහී යන ගුණාංගයක් ගැන ලස්සනට කතා ක‍රල තියෙනවා වගේම කතාව නිම ක‍රන්නේත් අවසානයක් නොමැතිව ප්‍රේක්ශකයාටත් හිතන්න යමක් ඉතුරු ක‍රමින්.

Monday, October 27, 2008

අහම්බෙන් හිමිවූ වාසනාව

මිනිස් බවයක් ලැබීම ගැන බුදු රජාණන් වහන්සේ ලස්සන උපමාවකින් පැහදලා දීල තියෙනවා. දවසක් බුදු රජාණන් වහන්සේ පාදයෙන් නිය මතුපිටට පස් ස්ව්ල්පයක් ගෙන "ආනන්ද, මේ මාගේ නිය මතුපිටට ඇති පස් ප්‍රමාණයද විශාල මේ මහපොළොවේම ඇති පස් ප්‍රමාණයද?" කියා ව්මසුවා. එවිට ආනන්ද හාමුදුරුවෝ "ස්වාමීනී, මේ මහ පොළොවේ ඇති පස් ප්‍රමාණය ඔය නියමතුපිට ඇති පස් ප්‍රමාණය වඩා බොහෝ විශාලයි" යනුවෙන් පැවසුවා. එවිට බුදු රජාණන් වහන්සේ "ආනන්ද මෙන්න මේ නියමතුපිට ඇති පස් ප්‍රමාණය වගේ සුලු අවස්ථාවක් තමයි තියෙන්නේ මිනිසෙකු මිය ගිය පසු නැවත මිනිස් භවයක් ලබා උපදීමට".

දැන් බලන්න අද කාලේ මිනිසෙක් වෙලා ඉපදුනාම එයාට තියෙන බලාපොරොත්තු මොනවද?
මුලින්ම හොඳ පාසලකට ගිහින් හොදට ඉගෙන ගන්නවා. ඊට පස්සේ වැඩි දුර අධ්‍යාපනයට යොමුවෙලා හොඳ රැකියාවක් හොයාගෙන සල්ලි ටිකක් හම්බක‍රල ඊලගට විවාහ වෙනවා. ඊට පස්සේ දරු මල්ලො හදාගෙන ජීවත් වෙන එක තමයි එයාගෙ අරමුණ. ඉතිං මේ වගේ ජීවිතයක් ගෙවන ඔහු සෝවන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් වෙන්න ඔනි කියල අංශුමාත්‍රයක හෝ අරමුණක් ඇතිවෙන්නේ නෑනේ. ධර්මය යන්තම් හෝ දන්න කෙනා නම් මේ ගැන දන්නව. අද මේ තියෙන ධර්මය අපිට ලැබුනේ අහම්බෙන් ලැබුන වාසනාවක් නිසා. ඒක බොහොම ලස්සන වගේම දුකත් හිතෙන කථාවක්.

මීට අවුරුදු 2000 ට විත‍ර ඉස්සර ලංකාවට වැඩම ක‍රපු මිහිදු මහ‍රහතන් වහන්සේ විසින් දේශනා කරන ලද බුද්ධ ධර්මය මෙහෙ ස්වාමීන් වහන්සේලා කට පාඩමින් තමයි රැකගෙන ඉඳල තියෙන්නේ. කාලයක් ලංකාවේ දුර්භික්ෂයක් ඇතිවෙලා තියෙනවා. ඒ කාලේ කුසට‍ කිසිම ආහාරයක් නැතුව 12,000 ක් පමණ රහතන් වහන්සේලා පිරිසක් සිතුල් පව්ව උඩ පිරිනිවන් පාල තියෙනවා. මේ නිසා ඉතිරි ස්වාමින් වහන්සේලාගෙන් කොටසක් දකුණු ඉන්දියාවට වැඩමක‍රල. ලංකාවේ උන්නු ස්වාමින් වහන්සේලා පිරිස වෙරළට ඇවිල්ලා වැටකෙයියා ගස් මිරිකලා ගත්තු යුෂ වළඳලා දිවි රැකගෙන තමයි මේ ශ්‍රී සද්ධර්මය කට පාඩමින් රැකගෙන තියෙන්නේ.

දුර්භික්ෂ සමය අවසන් උනාට පස්සේ දකුනු ඉන්දියාවට වැඩිය ස්වාමීන් වහන්සේලා පිරිස නැවත ලංකාවට වැඩම කලා. ඊට පස්සේ දෙපිරිස එකතුවෙලා ධර්ම දැනුම පිළිබඳව පරීක්‍ෂා කලාම(ධර්ම සංගායනාව) දෙගොල්ලන්ගෙම දැනුම නිවැරදිව තිබුනා. ඉතිං මේ රහතන් වහන්සේලාට ලොකු අවදානමක් දැනුනා "මේ වගේ අනතුරක් අනාගතයේදී ඇතිඋනොත් මෙලෙසම බුදු දහම රැකේවිද?" කියලා.

ස්වාමීන් වහන්සේලා, රහතන් වහන්සේලා එකතුවෙලා "අප මුලින් රැකිය යුත්තේ ප‍රියාප්තිය ද?, ප්‍රතිපත්තියද ?" ඒ කියන්නේ බුද්ධ වචනයද? නැත්නම් එය අනුගමනය කිරීමද? කියලා සාකච්ජා කලා. කොටසක් පැවසුවා ප‍රියාප්තිය කොච්චර තිබුනත් වැඩක් නෑ ප්‍රතිපත්තියයේ යෙදුනොතින් තමයි මේ ධර්මය රැකෙන්නේ කියලා. එතකොට එතන වැඩ සිටපු රහතන් වහන්සේලා නැගී හිටලා පැවසුවා "නෑ, ප්‍රතිපත්තිය අපට හ‍රිගස්ස ගන්න පුලුවන් හ‍රියට ප‍රියාප්තිය තියෙනවා නම්".

ඊට පස්සේ තීරණය කලා කට
පාඩමින් ගෙන ආපු බුද්ධ වචනය ලියන්න ඕන කියලා. දැන් පාලි භාෂාව කට පාඩමින් දන්නවා නමුත් පාලි අකුරු දන්නේ නෑ ඒක නිසා පාලි වචන සිංහල අකුරු වලින් ලිව්වා. මේන්න මේ හේතුව නිසා තමයි පාලි භාෂාවට අකුරු නැත්තේ. ඔන්න ඔය ආකාරයට තමයි මාතලේ අළු විහාරයේදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ ක‍රන්න මූලික අඩිතාලම වැටුනේ. ඊට පස්සේ තමයි තායිලන්තය, බුරුමය ආදී රටවල් ඒ අයගේ අකුරු වලින් ත්‍රිපිටකය ප‍රිවර්ථනය කලේ.

බලන්න, නැතිවෙන්න ඔන්න මේන්න කියල තිබිලා අපේ වාසනාවට නූලෙන් බේරුනා. අන්න ඒකයි මේක අහම්බෙන් ලැබුන වාසනාවක් කියල මුලදිම සදහන් කලේ. එහෙම ලැබුන වාසනාවටත් පයින් ගහනවා කියන්නේ ඒක ඒ පුද්ගලයගේම අවාසනාව තමා ඉතිං.
෴෴෴෴

Monday, October 20, 2008

ක්‍ෂණ සම්පත්තිය

වස්සානය අවසන් උනා විත‍රයිනේ. එක නිසා තවත් ධර්ම කරුණක් ගැන කියන්න හිතුනා. ධර්මය ඇති කලද මිනිසුන්ට එහි අගය, වටිනාකම නොතේරෙනව නම් ධර්මය නැති කල කුමන කථාද?

ක්‍ෂණ සම්පත්තිය ඇතිවෙන ආකාරය
බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇති ආකාරයට එය ඇතිවන්නේ මෙසේයි,
බුදුරජාණන් වහන්සේ නමක් මෙලොවට පහල වී දෙව්, මිනිසුන්ගේ හිත සුව පිණිස ධ‍ර්මය දේශනා ක‍රන විටකදී හෝ එම බුද්ධ දේශණාවල් ඉගන ගත් ශ්‍රාවක වහන්සේ නමක් විසින් එම ධර්මය දේශණා ක‍රන විටකදී අපට ක්‍ෂණ සම්පත්තිය ඇති වේ.

ක්‍ෂණ සම්පත්තිය අහිමිවන ආකාරය
දැන් අර කලින් කියපු විදියට බුදුරජාණන් වහන්සේ නමක් හ‍රි ශ්‍රාවක වහන්සේ නමක් හ‍රි ධර්මය දේශණා ක‍රද්දි ඒ ධර්මය අවබොධ ක‍රන්න උවමනාවක්, ආසාවක් තියෙන පුද්ගලයා ඉන්නේ,

  • නිරයෙ(අපාය) නම්.
  • තිරිසන් සත්තු අත‍ර ඉපදිලා නම්.
  • පෙරේත ලෝකෙක නම්.
  • ධර්මය ඇහෙන්නෙ නැති ලෝකෙක(සමහ‍ර බ්‍රහම ලෝක, පිට සක්වල) නම්.
  • ධර්මය ඇහෙන්නේ නැති පලාතක නම්.
  • ධර්මය ඇහෙන නමුත් අවබෝධ කිරීමට නොහැකි(මන්දබුද්ධික) නම්.
  • ධර්මය ඇහෙන නමුත් එයට විරුද්ධ(විවිධ දෘශ්ඨි වල එල්බගෙන සිටින) නම්.
  • අවබෝධ කල හැකි මුත් ධර්මය නොමැති නම්.

මේ සියලුම දෙනාට ක්‍ෂණ සම්පත්තිය අහිමි වෙනවා.

විස්ත‍ර ඇතුව කියනව නම්,

නිරයේ, තිරිසන්, පෙරේත ලෝක වල ඉන්න අයට චතුරාර්ය සත්‍ය. ගැන කිව්වට වැඩක් නෑ. මොකද ඔවුන්ට එය තේරුම් ගැනීමට නොහැකි නිසා.

බ්‍රහම ලෝක වල හෝ පිට සක්වල තියෙන ලෝකෙක කෙනෙක් ඉන්නව නම් එයාට මේ ලෝකෙ තියෙන ධ‍ර්මය අහන්න බැහැ. මේකෙන් එක දෙයක් පැහැදිලි වෙනවා ඒ තමයි ධ‍ර්මය අහන්න වාසනාව තියෙන්නේ බොහොම සුළු පිරිසකට පමණයි කියන එක.

ඒ වගේම කෙනෙක් ඉන්නවා නම් ධර්මය ඇහෙන්නේ නැති පලාතක ඔහුටත් ඉතින් ධර්මය අවබොධ ක‍රන්න බැහැනේ. එහෙම බැලුවහම මේ ලොකයේ ධර්මය ඇහෙන්නේ නැති රටවල්, පලාත්ම නේ වැඩි. ඒක නිසා ලොකයේ බොහෝ දෙනෙකුට ධර්මය ඇහෙන්නේ නෑ.

අනිත් අතට ගේ ලඟම පන්සලක් තිබ්බත් වැඩක් නෑ ඒ පුද්ගලයට ධර්මය අවබෝධ කරන්න බැරි නම්. අපි ඔය පාරෙ යනකොට කොයි ත‍රම් දැකල තියෙනවද සිහි විකල් උන, මන්දබුද්ධික අයව. මේ අයට ධර්මය ඇහුන කියල අවබෝධය ක‍රා පැමිනෙන්නේ නෑනෙ.

ඊළග කෙනාටත් ධර්මය කොච්ච‍ර කිව්වත් වැඩක් නෑ. මොකද එයා ඉන්නේ විවිධ මිත්‍යා දෘශ්ඨික මත වල හිර වෙලා. ඉතින් එහෙම කෙනාට මේ ධර්මය ඇහුන ගමන් එයාගෙ දෘශ්ඨි වලට එකඟ නැති නිසා එයා ධර්මයට විරුද්ධ වෙනවා. ඒක නිසා එහෙම කෙනාටත් පුලුවන කමක් නෑ අවබෝධයක් ලබන්න ධර්මය ඇහුනා කියල. එවැනි පුද්ගලයො තමන් ලඟට එන ක්‍ෂණ සම්පත්තියත් අහිමි ක‍ර ගන්නවා.

බුදුරජාණන් වහන්සේ කෙනෙකුත් නැති ධර්මයත් නැති කාලෙක බුද්ධිමත් මනුෂ්‍යයෙක් ඉන්නවා. මෙයා හොයනවා මෙහෙම ධර්මයක් තියෙනවද කියල. එහෙම නැත්නම් ධර්මය තියෙනවා වෙන භාෂාවකින්. එයාගෙ භාෂාවෙන් එක කියන්න කෙනෙක් නෑ එයාට ඒ භාෂාවෙන් කිව්වොත් අවබොධ ක‍රගන්න පුලුවනි, බලන්න අවාසනාවක හැටි.
මේ වගේ පුද්ගලයෙක් ගැන අපි මීට පෙර කථා ක‍රල තියෙනවා "වනගත වීම" කියන සටහනෙන්.

ඉතින් මේ අපිට ලබිල තියෙන්නේ දුර්ලභ අවස්ථාවක් කියල දැන් තේරෙනවා ඇති. ඒ වගේම ක්‍ෂණ සම්පත්තිය පිළිබඳ පුංචි අදහසකුත් ලැබෙන්න ඇති.

එසේ නම් ඔබ සැමට ඒ චතුරාර්ය සත්‍ය ධර්මය වහ වහා අවබෝධ වේවා.

තෙරුවන් ස‍රණයි!!!

Wednesday, October 15, 2008

නිවැරදිව ධර්මය ශ්‍රවණය කලයුතු අයුරු

තැනෙක ධර්ම දේශනාවක් පැවැත් වෙන විට එතැනට බොහෝ පිරිසක් ධර්මශ්‍රවණය සදහා පැමිණෙති. නමුත් ඔවුන් ගෙන් බොහෝ පිරිසක් එයට සහභාගී වෙනු විනා එම ධර්ම දේශනාව හ‍රි හැටි අවබෝධ ක‍ර නොගනිති. බුදු රජාණන් වහන්සේ ධර්මය මෙන්ම එම ධර්ම කරුණු නිවැරදිව ශ්‍රවණය කලයුතු අයුරු ද අපට පහදා දී ඇත. එනම් ධර්ම දේශනාවක් ශ්‍රවණය ක‍රන පුද්ගලයා තුල පහත කරුණු පහ පිහිටා තිබිය යුතුය.

  1. සුස්සූසති - ධර්මය ඇසීමේ ආසාවක්, කැමැත්තක් එය ශ්‍රවණය ක‍රන කෙනා තුල තිබිය යුතුය.
  2. සෝතං ඕදහති - තම දෙකන් මනාව ධර්ම දේශනාව තුලම පිහිටාගෙන ශ්‍රවනය කල යුතුය.
  3. අඤ්ඤාය චිත්තං උපට්ඨපේති - ධර්ම දේශනාව කෙසේ හෝ අවබෝධ ක‍රගනිමි යැයි අධිෂ්ඨානයෙන් සිටිය යුතුය.
  4. අත්ථං ගණ්හාති - ධර්ම දේශනාවේ ඇති ධර්ම කරුණු හොදින් මතකයේ රඳවා ගනිමින්, අර්ථය වටහා ගනිමින් ශ්‍රවනය කල යුතුය.
  5. අනත්ථං රිඤ්චති - ධර්ම දේශනාවෙන් පිටතට සිත විසිරී යැමට ඉඩ නොදී ධර්ම කරුණු ඔසේම සිත පිහිටුවා ගත යුතුය.
  6. අනුලෝමිකාය ඛන්තියා සමන්නාග‍තෝ ‍හෝති - ධර්ම දේශනාවේ ඇති කරුණු තමන්ගේ ජීවිතයට ගලපා ගනිමින් කටයුතු කිරීම.

ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය සැමට අවබෝධ වේවා!!!
තෙරුවන් ස‍රණයි.

නැවතුම සොයා...



Monday, October 6, 2008

නුඹේ ප්‍රේමය


වෘත්තිය හා ගරුත්වය

දා ලක්දිව වැසියාට තම දිවියේ පැවැත්ම උදෙසා වෘත්තියක් නොහොත් රැකියාවක් කිරීමට අවශ්‍ය නොවීය. පවුලක් හෝ පවුල් කීපයක් එක්ව විසූ එම අව්දියේ එම පවුල් ඒකකය මුළුමනින්ම වාගේ ස්වයංපෝෂිත විය. කුඹුරක් කොටා බත සරි කර ගත් ඔවුන්ට හේනේ වගා කරගත් එලවළුද, වත්තේ ඉබේට මෙන් වැවෙන අල බතලද අඩුවක් නොමැතිව තිබිණ. ඉඳ හිට විශේෂ අවස්ථා වලදී ලබා ගැනීමට අවශ්‍ය වන දෙයක් ඇති කෙනෙකුගෙන් ලබා ගත්තේද හිත හොඳ කමින් පිරි දීමේ පුරුද්ද මුල් කොට ගෙනය.

මෙසේ සහජීවනයෙන් තිබූ සමාජයේ ඔවුන් තමන් සතු දක්ෂතා හා හැකියාවන් අනුන්ගේ යහපත වෙනුවෙන් යෙදවූයේ රැකියාවක් උදෙසා නොව සමාජ සේවාවක් හා සත්කාරයක් කිරීමේ චේතනාව පෙරදැරි කරගෙනමය.

ගමේ තැනෙක අලුතෙන් ගෙයක් ඉදිවෙන විට ගමේ බොහෝ පිරිසක් එකතු වී තම තමන්ගේ හැකියාවන් අනුව උදව් පදව් කලෝ ය. පිරිසක් බිත්ති බැඳීම් කල අතර වහලයේ කට යුතු සඳහා තවත් පිරිසක් දායක විය. මෙලෙසම කුඹුරු කෙටීම, වැපිරීම, ගොයම් කැපීම, විවාහ, ම‍රණ හා විවිධ ආගමික උත්සව ඇතුලු මෙකී නොකී සෑම පොදු හෝ පෞද්ගලික උත්සව, විශේෂ අවස්ථා සඳහා සෑම සියළු දෙනාම තමන්ගේ නොමසුරු දායකත්වය ශ්‍රමයෙන්, බඩු භාන්ඩ හා කෑම බීම ආදියෙන් ලබා දුන්හ.

සුද්දා ලක් දෙරණට පය තැබීය. ඔවුන්ට මේ මනුස්සකම ඇල්ලුවේ නැත. සෑම දෙයක්ම හා සේවාවක්ම මුදලට යට කෙරිණ. වෘත්තීන් බෙදා දැක්වීය. අනතුරුව එවාට විවිධ තත්වයන් ආරෝපණය කල අතර ඒවා උසස්, මධ්‍යම හා පහත් ලෙසට වර්ගද කෙරිනි. අද සමාජයේ වෘත්තීමය බෙදීමක් පවතින්නේ මේ නිසාය.

ජන වහරේ පවතින ආකාරයට ''මිනිහා මේසන් බාස්නෙ'', ''ආ! අර බස් කොන්දොස්තර ද?'', ''එයා මම හිතන්නෙ අර ඔෆීස් එකේ පියන් ද කොහෙද?'' යන අකාරයට පුද්ගලයාට වඩා වෘත්තිය ඉදිරියට පැමිණ එය බාල්දු ක‍රමින් කථා කරන්නට මිනිසුන් පෙළඹේ.

වාසනාවකට පසු කලෙක මෙහි ඇති අසාර්ථකත්වය සුද්දාට වැටහුණි. ඔවුන් ඒ මාන්නය ඔලුවෙන් හලා අප පසු කර ඉදිරියට ගියෝ ය. නමුත් අපි?

නෙතින් නෙතට


Wednesday, October 1, 2008

වන ගත වීම

වර්තමාන සමාජය තුල සිටින බොහෝ මිනිසුන් ජීවත් වන්නේ සතුටින් නොව ජීවත් වීමේ ඔනෑවට දැයි විටෙක සිතේ. මන්ද ඔවුන් ජීවත් වීමට සිදුව ඇත්තේ තමන්ට අවැසි ලෙස නොව සමාජයට ඔනෑ ආකාරයටය. ජීවත්වීම සදහා රැකියාවක් ක‍රන අය බොහෝ විට ජීවිතය දමන්නේ දෙවැනි තැනටය. මොවුන් සියලු දෙනාම පාහේ සාමාජය විසින් ඇති ක‍රනු ලැබූ යාන්ත්‍රික පද්ධතියේ අනු කොටස් වැනිය. බොහෝ දෙනෙකුට මෙහි ඇති කටුක බව දැනෙන නමුත් එය අවබෝධ කොට ගන්නේ ඉතා ස්වල්ප දෙනෙකි. ඒ අය අත‍රිනුත් ඉතා අතලොස්සක් මෙම සම්මත රාමුව බිද දමා යෑමට උත්සාහ ක‍රයි(බොහෝ විට සමාජය පිස්සන් යැයි හංවඩු ගසන්නේ මොවුන්ය). අපගේ කථා නායකයා ද එවැන්නෙකි. එසේ නම් දැන් අපි ඔහු දෙසට යොමු වෙමු.

ක්‍රිස්ටොපර් ජොන්සන් මැක්න්ඩලස්(Christopher Johnson McCandless) - ක්‍රිස් ඉපදුනේ 1976 පෙබ‍රවාරි මස 12 දා දකුණු කැලිෆෝනියාවේ(Southern California) දීය. ඔහුට සිටියේ එක් නැගණියක් පමණි. ඔහුට වයස අවුරුදු 6 දී ඔවුන් වර්ජීනියාවට(Virginia) පැමිණි අත‍ර ඔහුගේ පියා නාසා ආයතනයේ ඇන්ටෙනා විශේෂඥයෙකු ලෙස සේවය කලේය. මව ගුවන් සේවා ආයතනයක ලේකම් ව‍රියක ලෙස සේවය කලාය. ක්‍රිස්ගේ ගෙද‍ර පවුල් පසුබිම එත‍රම් යහපත් එකක් නොවීය. නිත‍රම ඔහුගේ දෙමව්පියන් අඩ දබ‍ර ක‍ර ගත් අත‍ර සමහ‍ර දින වලදී එය හමාර වුයේ ගුටි බැට හුවමාරුවකින් පසුවය. මෙ වැනි සිද්ධීන් නිසා සමහ‍ර අවස්ථා වලදී ඔවුන් වෙන් වීමට ද තීරණය කල නමුත් එය සිදු වුයේ නැත.

පාසල් කාලයේදී ඔහුගේ සිත යොමු වී තිබුනේ විඤාන වාදය, දව්යන්ගේ පැවැත්ම පිලිබඳව වැනි විෂයන් කෙරෙහි වූ අත‍ර උසස් පෙළදී හේ වන සංචාරකයෙකු ලෙසද පුහුණුව ලබා ඇත. ඔහුගේ උපධිය මානව විද්‍යාව හා ඉතිහාසයට අදාලව 1986 දී වූඩ්සන්(W.T. Woodson) පාසලෙන්ද 1990 දී එමොරි(Emory) විශ්වවිද්‍යාලයෙන් ලබා ගෙන ඇත. තමා ලබා ගත් උපාධියේ ශක්තිය තුලින් සම්පත් භෝගී ඇමරිකානු සමාජය තුල ඇති හිස් බව වඩාත් දැඩිව නින්දාවට ලක් කළේය. ජැක් ලන්ඩන්(Jack London), ලියො තොයිස්ටොයි(Leo Tolstoy), ඩබ්ලිව්. එච්. ඩාවීස්(W.H. Davies) හා හෙන‍්රි ඩේවිඩ් තෝර්ර්(Henry David Thoreau) වැන්නවුන් හේ අදහස් වලට දැඩිව ඇලුම් කලේය.

ඔහුගේ අරමුණ වූ ඇලස්කා වට වන ගත වීම ඇරඹුවේ 1992 අප්‍රියල් 28 වෙනිදාය. ඔහු තම වන ගත චාරිකාව ඇරඹුවේ "ඇලෙක්සැන්ඩර් සුපර්ට්‍රැම්ප්" නමින් අන්වර්ථ නාමයක්ද පට බැඳ ගෙනය. එලෙසම තම චාරිකාවේ සෑම මොහොතක්ම, තමන් ගේ ශ‍රීර සෞඛ්‍යය, මානසිකත්වය හා ප‍රිස‍රයෙන් එල්ල වූ අභියොග ආදී සෑම දෙයක්ම සටහන් ක‍ර තැබීම පුරුද්දක් ක‍ර ගත්තේය. ඔහුගේ චාරිකාවේදී ආහාර පාන හා අමත‍ර ආම්පන්න ඉතා අඩුවෙන් ගෙන යාමට ද හේ වඩා උනන්දු විය.

ඇලස්කා වනයට අතුලු වූ පසු දඩයක් කරුවන් විසින් ව‍රින් ව‍ර භාවිතා ක‍රන ලද බස් රථයක් තම තාවකාලික නිවහන ලෙස භාවිතා ක‍රන ලදී.එහිදී ඔහු සතු වූ දව්‍ය වූයේ රාත්තල් 10 ක සහල් මලුවක්, අර්ධ ස්වයංක්‍රීය තුවක්කුවක්, පතුරම් විශාල ප්‍රමානයක්, දේශීය පැලෑටි ගැන ලියවුන පොතක් සහ වෙනත් පොත් කීපයක්ය. වනයේ ඇති ගස් වැල් සහ දඩයමේන් තම ආහාර අවශ්‍යතා සපුරා ගැනීම ඔහුගේ අභිලාශය වන්නට ඇත.ඔහු වනගත වී දින 112ක් පමන රැඳී ඇතයි සැලකේ.

ප්‍රාණය නිරුද්ධ වූ ඔහුගේ සිරුර බස් රථය තුල තිබී හමුවූයේ ඔහු මිය ගොස් සති දෙකකට පමණ පසු මූස් වළසුන් දඩයම් ක‍රනා දඩයම්කරුවන් පිරිසකටය . මිය යන විට සිරුරේ බ‍ර රාත්තල් 67ක් පමණ වී යැයි සැලකෙන අත‍ර ම‍රණයට හේතුව වශයෙන් නිරාහාරව සිටීම යැයි ම‍රණ ප‍රීක්ෂණයේ සඳහන් වේ. නමුත් යම් විෂ පැලෑටියක්(කැලෑ අර්තාපල්) කැවීමේන් පසු ඇතිවූ ආහාර ගැනීමේ අපහසුතාවයෙන් මෙලෙස වුනි යැයි ද මතයක් පවතී.















ක්‍රිස්ටොපර් ජොන්සන් මැක්න්ඩලස් - ඔහුගේම කැම‍රාවකින් ගන්නා ලද ජායා රූපයකි.

බොහෝ දෙනෙක් ඔහු ගැන කනගාටු වන්නේ ඔහු කොම්පාසුවක් හා සිතියමක් භාවිතා නොකිරීම ගැනය. මන්ද එක ව‍රක් තම චාරිකාව අත‍ර මග නවතා ආපසු යෑමට සැරසුනත් ඒ සදහා එතෙර වීමට තිබූ ගඟ පිටාරය ගලා තිබූ බැවින් එය වැලකුනේය. නමුත් ඔහු ගඟ ත‍රණය කිරීමට උත්සාහ කල ස්ථානයට සැතපුම් 1/4ක් දුරින් අතින් ක්‍රියා ක‍රන ට්‍රෑම් රථයක් තිබී ඇත. තවද හදිසි අවස්ථාවකදී ගැනීමට ඇති ආහාර ගබඩාවක් ඔහු සිටි බස් රථයට සැතපුම් කීපයක් දුරින් තිබී ද ඇත. ඔහු සතුව සිතියමක් තිබුනේ නම් මේ සියල්ල දැන ගැනීමට ඔහුට හැකි වනවා සේම පහසුවෙන් දිවි රැක ගැනීමටද හැකියාව ලැබෙනු ඇත.

මට මේ සිද්ධිය දැන ගන්න හම්බුනේ "Into the Wild" කියන චිත්‍රපටිය බැලුවට පස්සේ. කොහොම නමුත් චිත්‍රපටියේ සමහ‍ර සිදුවීම් අතිශෝක්තියෙන් තියෙනව කියල තමයි හිතෙන්නේ. උදාහ‍රණයක් විදියට "ටේසී " කියන ගෑනු ළමයගේ කතාව
චිත්‍රපටියේ අලංකාරය පිනිස යොදාගෙන තියෙන්නේ. අනික ක්‍රිස්ගේ ච‍රිත ලක්ෂණ අනුව මේ ත‍රම් සාර්ථක විදියට පුද්ගල, සාමාජ සම්බන්ධතා ඇති ක‍රගන්න පුලුවන්ද කියල සැකයකුත් හිතෙනවා. කොහොම නමුත් මේකෙ ක්‍රිස්ගේ ච‍රිතයට පන පොවන එමිලේ(Emile Hirsch) වචනයෙන් කියන්න බැරි ත‍රම් සාධාරණයක් ක‍රල තියෙනව කියල කියන්න පුලුවන්.

චිත්‍රපටියේ එන ගීත ගැනත් විශේෂයෙන් කියන්න ඔනි. ඒ ගීත වලින් ලැබිල තියෙන ආලෝකය කියල වැඩක් නෑ. පර්ල් ජෑම්(Pearl Jam) සංගීත කන්ඩායමේ නියමු ගායක එඩී වෙඩ්ඩර්(Eddie Vedder) ගේ සංවේග ජනක කට හඩ හොදට ගැලපෙනව මේකෙ කතාවත් එක්ක. "No Ceiling, Society" කියන ගීත නම් මරු.

මේක බලලා අන්තිමට මට මතක් උනේ, අනේ ධ‍ර්මය තියෙන රටක මොහු ඉපදුනා නම් කොච්ච‍ර වාසනාවක් ද කියල.මොකද මොහුට අවබොධ කිරිමේ හැකියාව තිබුනට ධ‍ර්මය නැති රටකනේ ඉපදුනේ.

*මේ චිත්‍රපටිය ගැන කීවට මධූ නංගිට ස්තූතියි.

වැඩි විස්තර සඳහා:

http://en.wikipedia.org/wiki/Christopher_McCandless
http://en.wikipedia.org/wiki/Into_the_Wild_(film)
http://en.wikipedia.org/wiki/Into_the_Wild

සෙබළ සොහොයුරන් හට