Wednesday, May 6, 2009

සම්බුදු තෙමඟුල බැතියෙන් සමරමු


පින්වත් අනුරුද්ධ, තථාගතයන් වහන්සේ දහම් දෙසන්නේ ජනතාව විශ්මයට පත් කරවන්නට නොවේ. ජනතාව සුරතල් කරන්නට නොවේ. ලාබ සත්කාර, කීර්ති ප්‍රසංසා ලබා ගන්නට නොවේ. ජනතාව මා ගැන මෙසේ හඳුනා ගනිත්වා කියා නොවේ. ශ්‍රාවකයන්ගේ මෙලොව පරලොව යහපත පිණිසය. නිවන් මගේ හැසිරෙන්නට උනන්දු කරවීම පිණිසය.


අඳුරු ලොවට එළිය විහිද වූ හිරු කිරණ

අපි මේ ගෙවාගෙන ආව සංසාර ගමන ගෙවලා තියෙන්නේ බොහොම කරදර මැද්දේ. අපි ඒක දන්නේ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා අපට කියා දුන්න නිසා. බුදු කෙනෙක් පහළ වෙලා මේ සංසාරෙ නොනවතින ගමන ගැන කියල එක නවත්තන, අවබෝධ කරන්න පුළුවන් කියල කියනකන් ඒ බව මේ ලොකේ කිසි කෙනෙක් දන්නේ නෑ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා කියලා කියන්නෙ අඳුරු ලෝකයට හිරු පායනවා වගේ එකක්.

බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මේ ධර්මය කියලා දුන්න නිසා මේ ප්‍රශ්නෙ අපි දැන් දන්නවා. අපි මේ සංසාරේ ආවෙ අපායෙන්, අපායට මාරු වෙවී. අපි බොහෝ කාලයක් ඉන්න ඇති තිරිසන් ලෝකයේ, එකත් ඉවර වුණා. නිරයේ ඉන්න ඇති, ඒකත් ඉවර වුණා. මිනිස් ලෝකෙට ආවා. මෙකත් ඉවර උනොත්? ගෙවාගෙන ආව සංසාරේ අපිට නිවන් දකින ධර්මයක් අනුගමනය කරන්න බැරි උනා. ඔන්න දැන් අපිට අවස්ථාව ලැබිලා තියෙනවා. මේ විදියෙ අවස්ථාවක් අයෙ කොයි කාලෙ එයිද කියල හිතන්නවත් බැරි එකක්. ඒ තරමටම දුර්ලභයි. අපේ වාසනාවට අපේ අතපය හොඳට තියෙනවා. අපට යමක් කිව්වහම තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එහෙම නම් අපේ පැත්තෙන් අපි සම්පූර්ණයි.

අපේ වාසනාවට මේ ජීවිතය ගැන කතා කරන ධර්මයක් ඇහෙනවා. ඒ ධර්මය විකෘති වෙච්ච නැති එකක්. ඒ ධර්මය බුදු රජාණන් වහන්සේ නමකගේ ධර්මයක්. ඒ ධර්මය ලැබෙන වෙලාවෙදී අපි ඒ ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්න ඔනෑ. මේ අවස්ථාව ගිලිහී ගියොත් අපට මොකක් වෙයිද කියලා කියන්න බැහැ.

ඒ නිසා ජාති, ජරා, මරණ වලින් නිදහස් වීම පිණිස.
රාග, ද්වේශ, මෝහ ප්‍රහානය කිරීම පිණිස.
සක්කායදිට්ඨි, විචිකිච්ජා, සීලබ්බත පරාමාස දුරු කර ගැනීම පිණිස.

මේ ධර්මය තුළින් නුවණ මෙහෙයවීමෙන් උත්සාහයෙන් වීර්යයෙන් යුතුව එක්වරම චතුරාර්ය සත්‍ය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කර ගන්නවා කියලා හිතට ගන්න නුවණැති සියල්ලන්ටම හැකියාව ලැබේවා!!!



නැවතුම සොයා...