Monday, October 29, 2012

සල්ලි දෙයියන්ගේ මල්ලිද?

ල්ලි දෙයියන්ගේ මල්ලි කියල අපි කටවහරේදී භාවිතා කලාට සල්ලි දෙයියන්ගේ මල්ලිද, අයියද එහෙමත් නැත්නම් තාත්තද කියල වෙනම හොයල බලන්න වෙනවා අද කාලේ භාවිතයත් එක්ක බැලුවම. හැබැයි මම කියන්න යන්නේ වෙනමම කතාවක්, කතාවක් කිව්වට පොඩි උපදෙස් කීපයක්, මම මුදල් පරිහරණය සමබන්ධයෙන් පිළිපදින. පොඩි ඉතිහාස කතාවක් තියෙනවා, ඒක කියලම පටන්ගමුකො එහෙනම්...

ඔන්න කාලයක් අපි සෙට් එකක් බෝඩිමකට වෙලා හිටියා, ඉගෙනගෙන අහවර වෙලා කට්ටියම එක එක තැන් වල රැකියා කරමින් තමයි උන්නේ. ඉතින් උදේට බොහෝවේලාවට එකා දෙන්න සෙට් වෙලා කයියකුත් ගෙන යනවා, දවසක් මමයි තව මගේ යාළුවෙකුයි යන කොට මිනිහ මට මෙන්න මෙහෙම කිව්වා. "මචං ඊයේ රෑ සලියා කිව්වා, බලපන් මාසේ අන්තිමට අපි ළඟ සතපහක්වත් නෑ, කොහොම කලත් ඉතුරු කරන්න බැරි හැටි... හැබැයි මම දැකල තියෙනවා රැපා ගාව නම් කීයක් හරි තියෙනවා. මම දැකල නෑ කවදාවත් ඌ සල්ලි පොඩිකරලා, නවලා පර්ස් එකේ දාගෙන ඉන්නවා, සල්ලි කොළ ඔක්කොම දිග අතට තමයි ගෙන ඉන්නේ, එක වෙන්න ඇති හේතුව. එක නිසා අපිත් ඒ විදිහට දාලා බලමු" මට ඕක ඇහුව විතරයි බකස් ගාලා හිනා ගියා. මොකද මම එහෙම සල්ලි දාන්න පුරුදු උනේ වෙනම හේතුවක් නිසා. ඒ තමයි දවසක් කල්පනා කර කර ඉන්දැද්දී හිතුනා අපේ රටේ බහුතරයක් දෙනා සල්ලි දාන්න පුරුදු වෙලා ඉන්නේ නවලා, පොඩි කරලා කොහේ හරි ගහගන්නවා. තවත් අසමජාතියෝ ටික දෙනෙක් සල්ලි කොලවල බලි අඳිනවා. ඉතින් ඔය වැඩවලින් වෙන්නේ සල්ලි කාලයක ආයු කාලය අපේක්ෂිත කාලයට කලින් භාවිතයෙන් අයින් කරන්න වෙනවා. එතකොට සල්ලි කොළ අලුතින් අච්චු ගහන්න වෙනවා, අපේ රටේදී ඒක කරන්න තාක්ෂණය මදි නිසා ඒවා කරන්නේ පිටරටකදී, ඉතින් ඒකට සැහෙන මුදලක් යනවා. දැන් කාගේ මුදල්ද මේවා අලුතෙන් අච්චුගහන්න වියදම් වෙන්නේ? අපේම සල්ලි තමයි... ඇයි ඉතින් අපිට බැරි ඕක පරිස්සමින් පාවිච්චි කරලා, දවසක් හරි සල්ලි කොලේ ආයු කාලය වැඩි කරලා අපේම සල්ලි අපේ රටේ ප්‍රයෝජනවත්
වෙන වැඩකට යොදවන්න බැරි? ඔන්න ඔය සිතුවිල්ල තමයි මාව අර පුරුද්ද ඇති කරන්න හේතු වුනේ.

ඔන්න
තව දවසක් මමයි මගේ යාළුවෙකුයි ගියා ව්‍යාපාරිකයෙක් හම්බෙන්න. ඒ ගියේ ඔහුට අපෙන් උපදෙස් වගයක් ගන්න ඔනිවෙලා තිබ්බා ඔහුගේ ව්‍යාපාරයට. ඉතින් අපේ කාලයට, බස් ගාස්තු වලට යම් මුදලක් දෙන්න ඔහු පොරොන්දු වෙලා තිබ්බේ. අපි ගිහිල්ල වැඩේ කරලා එන්න පිටත් වෙන්න සැරසෙන කොට ඔහු පර්ස් එකෙන් සල්ලි අරන් දුන්නා, මාත් එක්ක ගිය යාළුවා ඒ සල්ලි ගන්න අත දික් කලහම ඔහු මුදල් ටික අපහු අකුළුවා ගෙන කිව්වා "පුතා, කවදාවත් සල්ලි ගන්න කොට හරි, දෙනකොට හරි වම් අත පාවිච්චි කරන්න එපා. ඒක සල්ලි වලට කරන අගෞරවයක්. ඒක අපි ව්‍යාපාරවලදී අනුගමනය කරන රීතියක්"

ඒ වගේම බුදු රජාණන් වහන්සේ සිගාලෝවාද සුත්‍රයේදී මුදල් පරිහරණ ගැන මනා කොට දේශනා කරලා තියෙනවා.

නුවණැති පුද්ගලයා තමාගේ වස්තුව කොටස් හතරකට බෙදා පාවිච්චි කරයි,

  • එක කොටසක් පරිභෝජනයට යොදා ගනී 
  • කොටස් දෙකක් කර්මාන්ත ආදියෙහි වැඩි දියුණුවට යොදවයි 
  • අනෙක් කොටස විපතකදී ප්‍රයෝජනයට ගැනීමට ආරක්ෂා කොට තබයි

වැඩි විස්තර ඕනි අයට පහත යොමු වලට ගියොත් කියවන්න පුළුවන්


http://thripitakaya.blogspot.com/2012/09/blog-post.html

http://www.dinamina.lk/2012/05/09/_art.asp?fn=a1205094

http://www.lakehouse.lk/budusarana/2009/03/26/PrintPage.asp?REF=vision04


ඉතින් ඔබත් මුදල් පරිහරණය කරනකොට මේ කරුණු කිහිපය අනුගමනය කරලා බලන්න. හොඳ ප්‍රතිපල ලැබේවි.


No comments:

Post a Comment